Thursday, March 8, 2018

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07



සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත්, එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත්, ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත්, තවත් බොහෝ වැදගත් දේ ගැනත් 6 වෙනි කොටසින් අප කතා කලා..
තමන්ට ඤාති සම්බන්ධයක් තිබුණු වසවර්ති කුමරා විසින් සිදුහත් කුමරුන්ව රාජාභිෂේක කරවන්නට ලොකු සටනක් දුන්නා.. ඒත් එය නොහැකිවූ පසු ඔහු කාල තීර්ථ පුරයට හෙවත් කුසිනාටා නුවරට යනවා.. බුදුරදුන්ගේ පිරිණිවන් පෑම සම්බන්ධව කිසියම් කතා බහක් තෙමසකට කලින් මේ වශවත් රජු හා බුදුරදුන් අතර ඇති වෙනවා.. එහිදී බුදුරදුන් ඉදිරි මාස තුනකින් තමන් වහන්සේ පිරිණිවන් පාන බවට දැනුම් දීමක් කරනවා.. එහිදී බුදුපියාණන් ආයු සංස්කාරය අත් හරිනවා.. ඒ චාපාල චෛත්‍යස්ථානයෙදීයි.. එහෙනම් ඒ චාපාල චෛත්‍යස්ථානය පිහිටියෙ කොතනද

     බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය හා ආදාහනය කළ ස්ථානය සම්බන්ධව කිසියම් ගැටලුවක් මතු වෙනවා.. ඒක අප හෙමින් සීරුවේ විසඳාගත යුතු කරුණකි. මෙහිදී අපට කුසිනාරාව හා විශාලාව එදා පිහිටි නියම තැන කුමක්ද කියා මුලින්ම හොයා ගන්නට වෙනවා..
මෙහිදී පූජාවලිය, රාජාවලිය, වන්නි රාජාවලිය වැනි පුස්තකයන් ඉතා වැදගත් වෙනවා.. එම පොත්වලට අනුව අද මතුකරගෙන තිබෙන ගම් නගර සියල්ලක්ම පාහේ පිහිටි දිශාවන් නිවැරදියි.. වෙනසකට ඇත්තේ විශාලා මහ නුවර හා කුසිනාරා නුවර දෙක පමණයි.. අනෙක්වා හරියන්නත් ඒ දෙක වෙනස් වෙන්නත් මෙතන කුමන හෝ පැටලීමක් තියෙන්න පුලුවන් නේද? ඔව් ඇත්තටම එතන නිවැරදි කරගත යුතු දෙයක් තියෙනවා.. 

     පුජාවලියට හා රාජාවලියට අනුව විශාලා මහනුවර බෝධිමූලයෙන් බටහිරටත්, කුසිනාරාව උතුරිනුත් පිහිටා තිබිය යුතුයි.. එමෙන්ම මේ නුවර වල් දෙක අතර දුර පරතරය ගොඩාක් ලොකු වෙන්නත් බෑ.. ඔහොම තියෙනකොට මහාවංශයෙන් විශාලාව ගැන සඳහනක් හමුවෙනවා.. ''එකල්හි මහමෙව්නා උයන මහා සාගර නම් විය. පශ්චිම දිශාවෙහි විශාල නම් පුරයක් විය"
    ඉතින් මේ අනුවත් අනුරපුරයට බටහිර දෙසින් විශාලා නුවර පැවති බව සිතා ගන්නට හැකියි. එය පූජාවලි කතාවටත් ගැලපෙනවා.. එහෙනම් බෝධියට උතුරින් කුසිනාරාවත් තිබෙන්න පුලුවන් නේද? අනෙක් වැදගත්ම කරුණ නම් මහා සෑය ගැන කියවෙන කතන්දරයයි..
බුදුරදුන්ගේ රන්දෙන දවාලිම කරන්නේ මේ අද රුවන්වැලි මහා සෑය තිබෙන තැනයි. එනිසයි එතනට මහා සෑය කියා නම හැදුනේත්.. අනෙක් සියල්ලම චෛත්‍ය/වෙහෙර වූ අතර මෙතනට කියන්නේ මහා සෑය කියායි.. සෑය කියන්නේ සොහොනටමයි.  ඉන් කලෙකට පසුව අපේ හෙළයේ සිටි අශෝක මහරජු විසින් එතන වෙහෙරක් සකස් කරනවා.. ඉන් පසුවයි එය ස්වර්ණමාලී මහා සෑය වන්නේ... බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වලින් වැඩි කොටසක් ඇත්තේද මෙතනම තමයි.. එසේම කිසියම් දවසකදී සියලු ධාතූන් වහන්සේලා අන්තර්ධාන වන්නේත් මේ රුවන්වැලි මහා සෑය ස්ථානයේදීම තමයි.. එසේම සිව් බුදුවරයින් වහන්සේලාම මේ ස්ථානයට වැඩි පූජනීය තැනක්ද වෙනවා.. 

     මෙතන ශ්‍රි දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවූ අඟුරු නාග ලොවට ගෙන ගොස් එහි වෙහෙරක් සාදනවා.. එම අංගර සෑය අද මීගමුව (අඟුරුකාරම්මුල්ල) පැත්තේ තිබෙන බව සඳහන් වෙනවා.. එහෙනම් පූජාවලියේ සදහන් කුසිනාරා නුවර ශ්‍රීමහා බෝධියට උතුරින් තිබුනා යැයි කීම නිවැරදි නේද කියන එක අපට පහසුවෙන් හිතන්න පුලුවන්..
හොඳයි එහෙමනම් කල්තොට බුදුගල ඇති සම්බන්ධය කුමක්ද? ඒ සම්බන්ධව අපට මෙහෙම හිතන්නටත් පුලුවන්. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත් හලේ එහිදී වෙන්න පුලුවන්. එහෙම නැත්නම් එතන පිරිණිවියා නම් ශ්‍රී දේහය අනුරපුරට වැඩමවා එහි ආදාහනය කලා විය යුතුයි.. (එහි සිට ශ්‍රී දේහය අනුරපුරට ගෙන ගිය ගැමි කතාත් අසන්නට ලැබෙනවා)

     කෙසේ හෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු එම ප්‍රවෘත්තිය මුළු දිවයින පුරාම එදා පැතිර ගියා. ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ධාතු කොටස් බෙදා ගැනීම සඳහා දේව වැසියන්ද, බ්‍රහ්මචාරීන්ද, ශාක්‍යයන්, ක්‍ෂත්‍රියන්, කෝලීයන්, මල්ලවයන්, ලිච්ඡවීන් ආදීන්ද අතර ගැටුමක් ඇති වූහ. ඇත්තටම මීට හේතු ගොඩක් තියෙන්න පුලුවන්.. එසේම මහා කාශ්‍යප මහ තෙරුන්ගේ අවසරය ලැබෙන තෙක් චිතකයට ගිනි නොතිබූ බවද සඳහන් වෙනවා..

    කොහොම හරි මුළු දිවයිනටම රජුන් වන සක්විති රජ කෙනෙකුගේ හෝ බුදුවරයෙකුගේ භෂ්මාවශේෂ තබා ගන්නා ප්‍රාදේශීය රාජ්‍යයන් ප්‍රබලත්වයට පත්වන බව හෙළයන්ගේ විශ්වාසයකි. හෙළයේ භේදවී වෙන්වී තිබූ සියලු කුල ගොත් එක්සේසත් කල අප සීහළ වංශික නායකවූ ගෝතම නර සීහයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා ගන්නා රාජ්‍යයන් ප්‍රබල රාජ්‍යයක් වන බව ඔවුන් සියල්ලන්ම පිළිගත් නිසාත්, ධාතූන් ලඟ තබා ගැනීමෙන් එතුලින් විශේෂ විශ්ව කිරණ ශක්තියක් ලැබෙන බව දන්නවා. මෙම ධාතු බෙදා ගැනීමේදීත් යම් ගැටුම්කාරී තත්වයක් රජවරු අතර උද්ගත වුනා..

    කෙසේ හෝ මෙම ගැටුම සමනය වූයේ ද්‍රෝණ බමුණාගේ මැදිහත් වීමෙනි. ද්‍රෝණ බමුණා එම සිරි භෂ්මාවශේෂ නැලි අටකට සමානව බෙදා දීමෙන් පසු ගැටුම විසඳුණි..
මෙසේ ශාරීරික ධාතු බෙදා දීමෙන් පසුව ඉතිරි වූ දන්ත සතරක්‌ බෙදා ගත් අයුරු මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්‌වේ. එක්‌ දළදාවක්‌ දේව හෙළයන් වෙතද, තවත් දළදාවක්‌ ගන්ධාර පුරයටද, තව දළදාවක්‌ නාග ගොත් රජවරු වෙතටද අනෙක කාලිංග රජුටද ලබාදී ඇත. අද අප නුවරදී වැඳුම් පිදුම් කරමින් වාර්ෂිකව දළදා පෙරහැර පවත්වමින් ගෞරවාහාර දක්‌වන්නේ එම කාලිංග රජු ලබාගත් දන්තධාතූන් වහන්සේටය..
හොඳයි එහෙමනම් බොදුනුවන්ට ස්වර්ණමාලී මහා සෑය පිහිටි ස්ථානය කෙතරම් වටිනවා ඇත්ද කියා අපට දැන් සිතන්නට පුලුවන්..
 
     අද අනුරාධපුරයට බුද්ධ කාලයේ උරුවේලාව කියා භාවිතා කොට තිබෙනවා.. ඒ බව මහාවංශයේමද සඳහන් වෙනවා.. උරුවේලාවේ රජවරුන් සිටි තවත් උරුවේල ජනපද කීපයක්ම තැන් තැන්වල තිබී තිබෙනවා.
උරුවේලාව කියන්නේ විශාල ජනපදයක්. හිරිවඩුන්නත් උරුවේලාවම අයිති කොටසක්. හෙළදිව වැසියන්ට ඉතාම වටිනා සිරි මහා බෝධි දෙකක් හමු වෙනවා.. ඒ හිරිවඩුන්න සිරි මහා බෝධිය හා අනුරපුර සිරි මහා බෝධියයි.. මේ සිරි මහා බෝධි දෙක අතර සියුම් ලෙස විසඳාගත යුතු කරුණු කීපයකුත් තියෙනවා..
    බෝසතුන් වහන්සේ ගිහිගෙයින් නික්ම ගියාට පසු හිරිවඩුන්න බොධිය ලඟ තමයි වැඩිකාලයක් ඉඳල තියෙන්නේ.. එතන ඉන්න කාලේදී තමයි අර වසවත් රජුත් මහා පිරිසක් සමග යුද්ධයකට පැමිණියේ.. වසවර්ති පැමිනියේ සිදුහත් කුමරුන්ව රජ මාළිගයට එක්කගෙන ගොස් සක්විති රජෙක් කරවන්නටයි.. දේව වැසියන්ට උවමනා වුනේ බෝසතුන්ව බුදුවරයෙක් කරවන්නයි.. මේක තමයි දෙපැත්තේ ඇතිවූ හබය.. හබයක් නිසා රණ භූමියක් හටගත් ප්‍රදේශයක් නිසා තමයි ඔය හබරණ කියන්නේත්.. ඒ මහා යුද්ධ වෙලාවේදී බෝසතුන්ගේ සහායට සිටි දේව රජවරු ඇතුලු සේනාව පැරදී පලා ගියා.. ඒත් දැඩිමුණ්ඩ කුමාරයා ඇතුලු සේනාව අන්තිම මොහොත දක්වාම බොසතුන්ව ආරක්ෂා කලා.. දැඩිමුණ්ඩ කුමරුගේ ප්‍රති ප්‍රහාර හමුවේ වසවර්ති සේනාව අන්තිමට පැරදී පලා යනවා.. (මේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශීර්වාදය අදටත් හෙළ බෞද්ධයා වෙත පවතිනවා )

   ඉතින් කොහොම හරි මේ යුද්ධය සැබෑවට මිනිසුන් අතර හටගත් යුද්ධයක්. බුදුවීමේදී ඇතිවූ චෛතසික ක්ලේශ මාර යුද්ධය වෙනයි. මේ දෙක අද සමහරුන් පටලවාගෙන තියෙනවා.. මේවා පටලවා ගත්තොත් සැබෑ බුදු දහම ග්‍රහණය කර ගන්නට නොහැකි වෙනවා..
හොඳයි, එතකොට හිරිවඩුන්න බෝධිය තමයි මධ්‍ය මණ්ඩළය වෙන්නේ.. එහි තිබෙන වජ්‍රාසනය මත තමයි බෝසතුන් යුධ වෙලාවේ නොසැලී වැඩ ඉන්නේ.. එහි වැඩහිඳ කරන අධිෂ්ඨාන ශක්තිය අති මහත් ප්‍රබලයි.. එතන කිසියම් සුවිශේෂී විශ්ව ධර්මතාවයක් ගැබ් වෙනවා..
   ක්ලේශ මාර යුද්ධය හා වශවත් කුමාර යුද්ධය එක දවසේ වුනු එකක් නොවේ. එතන කිසියම් කාල පරතරයක් තියෙනවා.. එහෙමනම් ක්ලේශ මාර යුද්ධය කොට බුද්ධත්වය ලැබුවේ කුමන බෝධි මූලයේද කියා තවමත් කිසියම් ගැටලුවක් අපට පැන නගිනවා..
එය සිදුවූයේ මේ හිරිවඩුන්න බෝධි මූළයේ වෙන්නත් පුලුවන්.. අනුරපුර බෝධි මූළයේ වෙන්නත් පුලුවන්.. අනාගතයේ යම් දිනෙක රාජ අනුග්‍රහය ඇතුව අනුරපුර සිරිමහා බෝධිය ලඟ කැණීමක් කර සොයා ගැනීමක් කරන තෙක් අප මුණිවත රකිමු.. (යම් විටෙක එහිදී වජ්‍රාසනයක් හා බෝධි මූලය යට විශාල කටාරමක් මතු වුනොත් අපට නිගමනයකට එන්නට පහසු වෙයි..)

    අප දන්නවා නේද 'බොන්සායී' ශාක ගස් ගැන.. කිසියම් භාජනයක් ඇතුලේ ගහක් පැළකොට වතුර දමමින් පෝෂණය කොට එය පවත්වා ගෙන යන්න පුලුවන්.. එහෙත් අවුරුදු දහස් ගනනක් ගියත් එය වැඩෙන්නේ කිසියම් ප්‍රමාණයකට පමනයි.. එසේම මේ අනුර පුර බෝධියද කවුරු හෝ විසින් යටට විශාල භාජනයක් තබ සිටෙව්වා නම් එසේ වන්නත් බැරි නෑ නේද?..
(මෙය බෝසතුන් වහන්සේ හෝ ආනන්ද හිමියන් විසින් රෝපණය කලාද, නැතිනම් ඊට පසුව වෙන රජ කෙනෙකුන් විසින් රෝපණය කලාද, එසේත් නැතිනම් ස්වාභාවික බෝධියක්ද කියා කියන්නට තවම නිසි කාලය පැමිණ නැත )
රෝපණය කල එකක් වේවා, ස්වාභාවික එකක් වේවා මේ ද්විත්ව බෝධියම පූජනීයත්වයට, වන්ඳනීයත්වයට ඉතාම සුදුසුයි..
 
    පූජාවලියේ සඳහන් ගම් නගර විස්තරය අනුරපුර සිරි මහා බෝධි මූළය සිට කියුවාද නැත්නම් හිරිවඩුන්න බෝධි මූළය සිට කීවාද  කියා කියන්නට අපහසුයි. හැබැයි අනුරපුර සිරි මහා බෝධි මූළය ලක්ෂ කොට කීවානම් ''බෝධිමණ්ඩලයට අග්නි දිග්භාගයෙහි සැවැත් නුවරය" කියන තැනටත් ගැලපීම එනවා.. එවිට පූජාවලි, රාජාවලි පොත්වල සඳහන් සැවැත් නුවර, කුසිනාරාව, විශාලාව ඇතුලු සියල්ලේම දිශා පෙන්වීම් නිවැරදි වෙනවා..
බුදුපියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශණය පැවැත්වූ තැන පිළිබඳ අපට කිසිම ගැටලුවක් නෑ. එය ඉසින්බැස්සගල තිබෙන ඉසිපතනාරාමයමයි.. බුදුවීම සිදුවන්නේ හිරිවඩුන්න හෝ අනුරපුරදී.. පරිණිර්වාණය සිදුවන්නේත් අනුරපුරට අයිති කුසිනාරාවේ හෝ බුදුගලදී වෙන්න පුලුවන්.. කොතැන වුනත් සිරි දේහයට ගිනිදැල්වීම සිදුවන්නේ රුවන්වැලි මහා සෑය අභියසදී විය යුතුයි.. එවිට ඉපදීම සිදුවන්නේ කොහේදීද?
ඉපදීම සිදුවන්නේ මායා දේවිය ඤාති ගමකට යන අතර තුරදීයි.. එය බඹරගලදී වෙන්නත් පුලුවන්. එසේ නැත්නම් අනෙක් ඤාතීන් සිටි නේපාල පැත්තේ තැනක් වෙන්නත් පුලුවන්.. උප්පත්තිය කොතන වුනත් අනෙක් සියලු දේ සිදුවන්නේත් බුදුන් වහන්සේ වැඩ සිටියේත් මේ උතුම් හෙළබිම තුලමයි. එය සියලු ආකාරයෙන්ම ප්‍රත්‍යක්ෂයි.. එනිසා තර්ක නැගීමේදී 'බුදුන් උපන්නේ ලංකාවේ' කියනවාට වඩා උචිත වන්නේ 'බුදුන් වැඩසිටියේ මේ හෙළ ජම්බුද්වීපයේ' කියන එකයි.. උන්වහන්සේ හෙළයෙක් මිස ඉන්දියානුවෙක් නොවේ..

   ඇත්තටම කියනවනම් අප කවුරුවත් කියන නිසාවත්, පොත පතේ තියෙන නිසාවත් කිසිවක් භක්තියෙන් අන්ධවී පිළි ගන්නවාට වඩා අප විසින්ම සත්‍ය විමසා බලා නුවණින් තේරුම් ගැනීමයි සැම විටම වඩාත් උචිත වනුයේ..
සමහර තැන්වලදී අප කාටත් යම් යම් දේ වරදින්නට පුලුවන්.. සමහර තැන් වලදී සමාධියට පෙනෙන දේ පවා මායාවට ලක්වෙන්න පුලුවන් බව අප දැනගත යුතුයි.. එයද වංචක ධර්ම වලට හසුවෙන්නට පුලුවන්..
කෙසේ වුවත් අප වැරද්දක් දුටුවොත් එය නිවැරදි කරගෙන ඉදිරියට යාම තමයි වඩාත් සුදුසු. නැත්නම් ඉදිරියේදී වෙනත් කොතෙකුත් ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවනවා.. මේ හෙළ ඉතිහාසය එළි පෙහෙලි කරගෙන යාම අප සියල්ලන්ගේම කර්තව්‍යක් වෙනවා. එහිදී සියලු දෙනාගේම සහාය වටිනවා..

   මම විසින් මේ කලේ කැලයේ තිබූ විශාල කටු අකුල් ජාලයක් හැකි අයුරින් කපා කොටා ඇද දැමීම පමණයි.. එනිසා මෙතන තවත් ශේෂවූ කටු ඉති ආදිය තියෙන්න පුලුවන්. ඒවා ඇන ගන්නේ නැතිව ප්‍රවේශමෙන් ඔබ ඉදිරියට යන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා.. මෙතනින් පැන ගත්තොත් ඉදිරිය එතරම් ගැටලු සහගත නෑ.. මටත් මේ දක්වා එන්නට හැකි වුනේ මීට කලින් විශාල කැපවීම් කොට ගල් මුල් පෙරලා මග පාදා දීමට විශාල මෙහෙවරක් කළ උතුමන් නිසයි.. ඒ සියල්ල්න්ටම අප කෘතවේදි විය යුතුයි..
හොඳයි එහෙනම් අප මේ ''ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..'' කියන මාතෘකාව යටතේ මෙතෙක් දවසක් වැදගත් වන කරුණු කාරනා රැසක්ම කතා කලා.. හැකිනම් ඒ ලිපි පෙල නැවත වරක් කියවා බලන්න.. එවිට නොතේරුනු තැන් ඇත්නම් ඒවා තවත් පැහැදිලි වනු ඇත..සත්‍ය අවබෝධ වේවා..
 ඔබට සම්මා සම්බුදු සරණයි..

No comments:

Post a Comment

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07

සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත් , එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත් , ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත් , තවත් බොහෝ...