Friday, March 2, 2018

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..05



මෙහි 04 වන කොටසෙන් අපි කතා කලා මහා සෑය ලෙසින් තිබුණු  ස්ථානය ස්වර්ණමාලී මහා සෑය බවට පත් කරපු හෙළයේ සිටි අශෝක නම් මහ රජ කෙනෙක් ගැන.. ඉන් කලෙකට පසුව මහාවංශ කතුවරයා විසින් හිතා මතා හෝ වැරදි වැටහීමකින් යුතුව මේ රජවරුන්ගේ විස්තර පැටලවීම් සහගත ලෙසින් කතාව ගොනු කල හැටිත්, එනිසාම හෙළ ඉතිහාසය මහා අවුල් සහගත තත්වයකට පත්වුණු හැටිත් අප එදා කතා කලා...
 
එදා ලංකාදීපය ලෙස හැඳින්වූ කොටසේ නාග වැසියන් සිටි කොටසක් තමයි මුහුදට යටවුනේ.. ඉන් පස්සේ තමයි නාග දීපය මුහුද යට තියෙනවා කියා ජනප්‍රවාදයක් ඇතිවුනේ.. මෙහිදී නාග ගෝත්‍රික වැසියන් සහ ඔවුන්ගේ නගර විශාල වශයෙන් විනාස වෙනවා.. ඔවුන්ගේ ඉතිහාස කතාත් ඒ සමගම සුනාමියට ගහගෙන යනවා..
මුහුදු ගොඩ ගැලීම් වැනි හේතූන් නිසා විශාලව තිබූ හෙළ භූමිය මුහුදට යටවන විට ඉන්දියාවට යන්නට තිබුණු පාළම් මංමාවත් ආදියත් විනාශ වුනා.. දේශයන් දෙකක් හැටියට වෙන්වුනා.. 
ඉන් අවුරුදු 500ක් පමණ යනවිට සිටි ජනයාට සමහරවිට මේක පැටලුනා වෙන්නත් පුලුවන්. නැතිනම් දේශපාලණිකයන් විසින් අවුල් කලා වෙන්නත් පුලුවන්.. කොහොම හරි භාරත වැසියන්ට ක්‍රමාණුකූල ඉතිහාසයක් නොතිබුණු බව බොහෝ වියතුන් දන්නා කරුණක්.. අන්තිමට අපගේ හෙළ ඉතිහාසය ඇහිඳගත් ඔවුහු සියල්ල එහේට ගෙන ගොස් අපට අවුරුදු 2600කට සීමාවූ තිරිසන් ඉතිහාසයක් ලියා දුන්නාහ.. මේ අවුල ලිහා ගන්නට අසමත් හෙළයේ සමහර ඇත්තෝ අදටත් ඒ ඉතිහාසය දොහොත් මුදුනේ තබාගෙන ඉන්දියානුවන්ට වඳිමින් යදිමින් තම කොන්ද කඩාගෙන සිටින්නාහ...

ගෝතම බුද්ධ කාලයේදී අද තිබෙන ඉන්දියාවට යන්නට පාරක් තිබුණු බව මා මුලින් කිව්වානේ.. ඒ කියන්නේ ඔය ආදම්ගේ පාළම කියන ඒවත් එදා උඩින් තිබී තියෙනවා.. මේ භූමි දෙක අතරේ වෙළඳ සම්බන්ධය තිබී තිබෙනවා.. ඒ කාලයේ අද මෙන් ඉන්දියාවෙහි සශ්‍රීකත්වයක් තිබී නෑ.. ලංකා කොටසේ ජනයා එහෙට ගොස් ඉඩකඩම් හදාගෙන පදිංචිවී තිබෙනවා.. 
(ඉතින් මෙහේ අය එහේට ටික ටික ගිහින් ජනාවාස හදාගන්නවා වගේම පහුවෙන කොට ග්‍රීකවරු(ඇලෙක්සැන්ඩර්) අනිත් පැත්තෙන් අල්ලා ගන්නවා.. ඔවුන්ගෙන් භාරතය බේරාගන්නට තමයි පියදසි ලාජා එහි සටන් කරන්නේ..)
කෙසේ හෝ වේවා ඉතින් බුද්ධ කාලයේදී වෙළඳ කටයුතු කරන අපේ හෙළ වැසියන් එහෙටත් මෙහෙටත් නිතර ගිහින් තියෙනවා.. යාපනය පැත්තෙන් කරත්ත යන පාරක්ද තිබී තියෙනවා.. (බොහෝ විට මෙය මන්නාරම ආදම් පාළම විය හැකියි. පාරවල් දෙකක් තිබුනාද කියා කියන්න හරියටම දන්නෙ නෑ)

මෙහේ තියෙන මැණික්, සුදු හඳුන්, රත් හඳුන්, පුවක්, කුරුඳු, කුළුබඩු ආදී දේවල් එහේට ගෙනියනවා.. එහේ තියෙන දේවල් මෙහේට ගේනවා.. කොහොම හරි මෙලෙසින් ලංකා කොටසේ උතුරු පැත්තෙන් ගොඩින් යන්නට පාරක් තියෙද්දී දඹදිව කොටසේ නැගෙනහිර පැත්තෙන් උතුරු ඉන්දියාව පැත්තට නැවෙන් යන්නට මුහුදු මාර්ගයක් තිබුණා..  එදා හෙළයේ ප්‍රධාන වරාය වූයේ සුප්පාරක/මහරගිරාම (ත්‍රීකුණාමළ) වරායයි. එය කපිලවස්තු පුරයට මායිම් විය. එනම් ඒ එවකට සිටි ශාක්‍ය සුද්ධෝදන රජතුමාගේ අග නගරයයි..

මේ සුද්ධෝදන ප්‍රාදේශීය රජතුමාට තම සීහහනු පියාගෙන් උරුමවූ සිංහ ලාංඡණය සහිත නැව් සමාගමක් තිබුනා.. මේ නැව් වලින් බෙංගාල බොක්ක හරහා බංගලි දේශයට යනවා වෙළඳ කටයුතු සඳහා.. අද ඔය බංගලිදේශය හා නේපාල කොටසේ එදා සුද්ධෝදන රජු යටතේ පැවති රාජධානියක් වුනා.. එහි සුදොවුන් රජුට රාජ මාලිගයක්ද තිබී ඇත.. ඒ කියන්නේ සීහහනු රජුන්ගේ පියාවූ ජයසේන(දෙව්දහ) රජුන්ගේ නෑදෑ පිරිසමයි එහි හිටියේ.. 

ඉතින් බංගලි නේපාල් වලත් එදා ශාක්‍යයින් සිටියා.. ඔවුනුත් වෙළඳ කටයුතු වලට ගොස් එහිම ජනපද හදාගෙන පදිංචිවූ අයයි.. ඒ කියන්නේ ඔවුන් සිංහලයන්ගේ නෑදෑයින්.. මේ සිංහල දේශය හා බංගලිදේශයයි අතර එදා ලඟ සම්බන්ධකම් පැවතුනා..
 මෙය වරද්දාගත් අය සිතන්නේ අප බංගලි රටින් අවා කියාය. ඔවුන් අපේ හෙළ දිවයිනෙන් එහි පදිංචියට ගිය බව බොහෝ දෙනා නොදන්නේ මහාවංශය කල පටලැවිල්ල නිසාය.
සිංහලයාගේ මුල නම් අප හෙළයේම සිටි සීහහනු රජු හා ඔහුගේ මුණුපුරු සීදන්ත හෙවත් සිදුහත් කුමරුමය.. බුදුපියාණන් වහන්සේ සීහෙළයේ ප්‍රතිනිර්මාණිකයානන් වහන්සේ විය...

සුදෝවුන් රජතුමා නාවුක වෙළෙඳුන් (නාග) සමග ඉතා ලඟින් සම්බන්න්ධකම් පැවැත්වූ අයෙකි. එනිසාම එදා නාග වැසියන් (මුචළින්ද, මණිඅක්ඛික වැනි) සිදුහත් කුමරුන්ට බෙහෙවින් ගරු සත්කාර උදව් උපකාර කළා.. හෙළදිව ගයා ශීර්සයේදී බුදුවීමෙන් පසු වර්ශාවෙන් නොතෙමී ඉන්නට, මුචළින්ද නාරජු විසින් ආවාසයක්ද සාදා දුන් බව සඳහන්ය..
කැළණිය ප්‍රදේශයේ සිටි නාග වංශික මණිඅක්ඛික නාරජු විසින් සිදුහත් කුමරුට මාළිගයක් සාදා ගැනීමට බිම් පෙදෙසක්ද සුද්ධෝදන රජුට දී තිබෙනවා.. ඒ අද වනවාසල ප්‍රදේශයයි. (මේ රම්‍ය, සුරම්‍ය, සුභ කියන මාළිගා තුනෙන් එකකි. තව මාළිගයක් කපිලවස්තුවේද, අනෙක බෙංගාලයේද තිබී ඇතැයි සිතිය හැක.)
 අද වනවිට මේ වනවාසල නටඹුන් සුද්දන් විසින් වනසා දමා ඇත. (මේ බෞද්ධ රට යටත් කරගෙන හිටපු සුද්දො අපේ අතීත සොළොස්මස්ථාන වලින් එකක් වූ කොළොම්පුරය හෙවත් කෝළීය පුරය (කොළොම් නම් කෝළීය) ඇතුලත් මත්ස්‍ය රාජධාණියේ පැවති බෞද්ධ පුදබිම් කඩා ඒවායේ කලුගල් ගෙන මග දිගට සැතපුම් කණු දැමූහ.)

සුද්ධෝදන රජුගේ කාලයේදී සක්විති කෙනෙකුන් හෝ බුදුවරයෙකු පහළ වන යුගයක් බවට මිනිසුන් අතර කතාබහක් (කෝලාහලයක්) තිබුනා.. රාවණා රජ පරපුරෙන් පැවත ආ ජෝතිෂවේදීන් ඒ බවට අනාවැකි කීවා.. ඔය කාලයේ ශාක්‍ය හා කෝලීය වංශිකයින් අතර නිතර යුධ ගැටුම් පැවතියා.. මෙහිදී  සුද්ධෝදන රජු තම ශාක්‍ය මානය බිඳ දමා අපූරු උපක්‍රමයක් යෙදුවා.. එනම් මායා රටේ සිටි කෝළීය වංශික රජුගේ දි‍යණියක් සරණපාවා ගැනිමටයි.. එසේ කළේ මේ වංශ දෙක එක් කිරීමෙන් උපදින දරුවාට පහසුවෙන්ම සක්විති රජකම ගන්නට බාධාවක් නොවන බව දන්නා නිසාය.. ඉතින් කොහොම හරි  මේ රජු මායා රටේ කෝළීය වංශික රජ දියණියක් බිසවක් කරගන්නවා..

ඒ බිසව හිටියේ අද බියගම නමින් ඇති ප්‍රදේශයේයි.. ඇයට කුඩා කලදී පියෙකු වශයෙන් මණිඅක්ඛික නා රජු හදාවඩා ගෙන ඇත.. ඒ සෙනේහය නිසාමයි ඇයගේ පළමු පුතුට මාළිගයක් හැදීමට වනවාසලින් ඉඩමක් දී ඇත්තේත්.. මණිඅක්ඛික නාරජුගේ භවනට පිවිසෙන තොරණ තිබූ තැන අද තොරණ හන්දියයි..
පසුව රජ පුටුව සම්බන්ධ ඇතිවූ ආරවුලක් විසඳන්නට බුදුරදුන් එක් අවශ්ථාවක කැළණි පුරයට වැඩ එය සමතයකට පත් කරනවා.. එහිදී කැළණි ගඟෙන් දිය නෑමට ඇඳි රෙදිකඩ තැන්පත් කොට සාදන ලද චෛත්‍ය, මහා විහාරයෙන් අනිත් පැත්තේ ඇති පන්සලේ අදටත් තිබෙන අතර එය දන්නේ ටික දෙනෙකුන් පමණයි..
සුද්ධෝදන රජු විවාහ වූ මායා දේවියගේ අය්යා සමන් දෙවියන්ය... එතනත් ලොකු කතාවක් කියන්න තියෙනවා.. හොඳයි ගොඩාක් විස්තර කිවානේ.. ඔක්කොම එක සැරේ කියන කොට සමහරුන්ට දරා ගන්නට අමාරුත් වෙයි.. එහෙනම් ඉතුරු ටික ඊලඟ ලිපියෙන් කියන්නම්... 
 ඔබට තෙරුවන් සරණයි..

No comments:

Post a Comment

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07

සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත් , එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත් , ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත් , තවත් බොහෝ...