Monday, February 19, 2018

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..01



අනුරාධපුර රුවන්වැලි මහා සෑය වඳින්නට නොගිය බෞද්ධයෙක් නොමැති තරම් කීවොත් නිවැරදියි. මහා සෑය, ස්වර්ණමාලී මහා සෑය, රත්නමාලී මහා සෑය, රුවන්වැලි මහා සෑය ආදී කුමන නමකින් හැඳින්වුවත් මෙහි යට සැඟවුණු අති මහා හෙළ ඉතිහාසයක් තිබෙනවා.. අද එය සැබවින්ම දන්නේ ඉතා සුලු පිරිසක් පමණයි. බොහෝ දෙනෙක් දන්නේ ඒ වටා ගෙතුණු මිත්‍යා ජනප්‍රවාදයන්ම පමණයි. මෙහි සැබෑ කතාව සොයා ගන්නට නම් අද පවතින සුද්දා සැකසූ පාසැල්, විශ්ව විද්‍යාල විෂය නිර්දේශය කෙසේවත් ප්‍රමාණවත් නොවන්නේමය. එසේම අපව විජය කුවේණි ඉතිහාසයට කොටු කොට ලියපු මහාවංශයෙන්ද නොහැකියි..
 
එසේ නම් කුමන මුලාශ්‍රයන්ගෙන්ද සත්‍ය සොයා ගත යුත්තේ..?  
ඉපැරණි දීපවංශ, රාජාවලි, දිව්‍යාවදාන වැනි පුස්තක තොරතුරු වලින්, ශිළා ලෙඛණාදී ඓතිහාසික මුලාශ්‍ර වලින්, භූ විද්‍යාත්මක කරුණු වලින්, තාක්ෂණික කරුණු වලින්, ගුප්ත විද්‍යාත්මක කරුණු වලින්, අධ්‍යාත්මික කරුණු වලින් ආදී සියලු දේම භාවිතයෙන් මේ යටගියාව මතු කර දැක්වීමට හැකි වනු ඇත..
එනිසා මුලින්ම අප පැළඳ ගෙන තිබෙන වර්ණ කණ්නාඩි පැත්තකින් ගලවා තබා සත්‍ය ඉතිහාසය සොයා යන්නට එන්න කියා මා සැමටම කාරුණිකව ආරාධනා කරනවා..
හොඳයි, එහෙනම් අපි මේ ස්වර්ණමාලී මහා සෑය අලලා පසුකාලීනව ව්‍යාකූළකොට ලියනලද සුරංගනා කතා ටිකත් මදකට අයින් කරමු.. මේ කතා වල නම් අමුතු දේවල් කියවෙනවා..    

  එදා දෙවන පෑතින් නිරිඳානන්ට මේ මහා සෑය අනාගතයේ දී පිහිටන තැන මිහිඳු හාමුදුරුවන් පෙන්වා දුන්නා කියානේ කතාවේ තියෙන්නේ. උන් වහන්සේ සපුමලින් මෙම පිවිතුරු බිම පුදන විට මහපොළොව කම්පා වුනාලු. පොළව කම්පා වූයේ ඇයිදැයි රජතුමා ඇසුවලු. එවිට මිහිඳු හාමුදුරුවන් පැවැසුවලු මහා රජිඳානන්ගේ මුනුපුරකු විසින් මෙම ස්ථානයේ මහා ස්තූපය ගොඩනගන බව. රජු එපුවත ලියවා රුවන්වැලි සෑය පිහිටුවන ස්ථානයේ ගල්ටැඹක් එස වූ බවත් මහා වංශයේ සඳහන් වෙනව..
බුද්ධ වර්ෂ 382 දී රාජ්‍යත්වයට පත්වුනු දුටුගැමුණු කියන රජතුමා එම ටැඹ දකිනවලු. ඒක දැකල  එතැන මහ සෑය කරවූ බවත් මහා වංශය කියනව.
 ඒ මහ සෑය හදන්න යන විට එතැන තෙළඹු ගසක් තිබුණලු. සෑය සෑදීමට තෙළඹු ගස ඉවත් කිරීමට දුටුගැමුණු රජතුමාට සිදු වෙනව. ඒ ගසට අධිගෘහිතව ස්වර්ණමාලි නම් දෙවඟනක් හිටියලු. ඇය රජ්ජුරුවන්ගෙන් ගේම ඉල්ලුවලු. (කාටත් තේරුම් ගැනීමට අවශ්‍ය නිසා මෙහි සමහර තැන්වල ග්‍රාම්‍ය වචන භාවිත කිරීම ගැන වැරදියට තේරුම් නොගන්න).
 කොහොම හරි රජතුමා ඇගේ නම වෙහෙරට දාන්නම් කියල ඇයව ෂේප් කර ගන්නවලු..  ඉතින් ගස කපල ස්වරණමාලීමහා සෑය කියල නමත් දැම්මලු. ඊට පස්සේ ස්වර්ණමාලී මහා සෑය, ‘රත්නමාලී’, රුවන්වැලි යන නම් වලට පෙරලිලා අද දක්වාම පවතින කතා පුවතක් තමයි අපි කවුරුත් අහලා තියෙන්නේ..
ඉතින් මේ මහාවංශ ඇතුලු අනෙකුත් ජනප්‍රවාද වල කියන්නේ ඇත්ත සැබෑ කතාවමද?

ඇත්තටම කියනවනම් මේ මහාවංශ ඇතුලු අනෙකුත් ජනප්‍රවාද මුං ඇට පිඟානක් වගේ කීවොත් බොහෝ දුරට හරි. මුං ඇට ගොඩේ තියෙනව තැම්බෙන ඇට අතරම නොතැම්බෙන ඇටත්.. ඒ වගේ ඇත්ත හා බොරු මෙහි මිශ්‍ර වෙලයි තියෙන්නේ.. ඒවා තෝරා බේරා ගැනීම බුද්ධිමතුන්ගේ වැඩක්..
එතකොට මහාවංශ කතා කරුවාට සඟවන්නට බැරිවුනු වැදගත් ඇත්ත කතා කරුණු රාශියකුත් එහිම කියවෙනවා.. අපි ඒවා ටික ටික අරගෙන ඉදිරියට බලමු නේද? (මෙතන අපිට ඌරගේ මාලු ඌරගේ පිටේම තියල කපනව වගේ වැඩක් තමයි කරන්න වෙන්නේ)

හොඳයි, මහාවංශය සඳහන් කරන පරිදි මෙම කල්පයේ බුද්ධත්වයට පත් සිව්මහා බුදුවරුන්ගේ පහසින් මේ බිම පූජනීයත්වයට පත්වී ඇත (පිටු අංක.61). මේක හරිම වැදගත් සත්‍ය කතාවක්.. මහාවංශය පුන පුනා කීප තැනකම පවසනවා පෙර බුදුවරුන් මේ හෙළ භූමියේම වැඩ සිටි බව. එහෙනම් මේ එක් පැත්තකින් කියවෙන්නේ සෑම බුදුවරයෙකුම පහලවන්නේ මේ හෙළදීපයේම කියන එක නොවේද?

"මේ කල්පයෙහි තුන් වෙනුව බුදු වූ කාශ්‍යප ගෝත්‍ර ඇති.... ශාස්තෘ කෙනෙක් වූ සේක. එකල්හි මහ මෙව්නා උයන මහා සාගර නම් විය. පශ්චිම දිශාවෙහි විශාල නම් පුරයක් විය. එකල්හි එහි ජයන්ත නම් නරේන්ද්‍රයෙක් වූයේය. එකල මේ ද්වීපය තෙම මණ්ඩදීප නම් විය.."
කොහොමද වැඩේ? සත්‍ය යට ගහන්න බෑ කියන්නේ ඕක තමයි. යට ගැහුවොත් තව පත්තකින් අහු වෙනවා..

කාශ්‍යප බුදු හාමුදුරුවන් වහන්සේ වගේම අනෙකුත් බුදුවරු ගැනත් එහි කියවෙනවා.. කෝණාගම බුදුරදුන්ගේ කාලයේ මේ ද්වීපය වරදීප බවත්, කකුසඳ බුදුරදුන්ගේ කාලයේ මේ ද්වීපය ඕජදීප බවත් මනාව එහිම පෙන්වාදී තිබෙනවා..
ඔහොම කියාගෙන ගිහින් මේ වංශ කතා කරුවා ගෝතම බුදුරදුන්ගේ කාලය කියන තැන පොඩි පැටලවිලි ටිකකුත් එහෙන් මෙහෙන් හදනවා.. ඒ වුනත් ඒවා නුවණ ඇති අයට ලිහා ගන්නට පුලුවන්. හැබැයි මෙතනදී ඔය නාග, දේව, මනුස්ස ආදී ජන කොටස් පටලවාගෙන බහුභූත නටන අයට නම් මේක මහා අවුලක්ම තමයි.  

ගෝතම බුදුරදුන් ලංකාදීප (ලක්දිව) භූමියට තුන් වරක් වැඩි බව මහාවංශය කියනව. තෙවන වර මණිඅක්ඛික නාග ගෝත්‍රික රජු හමුවීමෙන් අනතුරුව මේ මහා සැය පිහිටි භූමියටත් වඩිනවා.. ඒ ගමන්ම ථූපාරාමය පිහිටි තැනටත්, පූර්ව බෝධිය තිබුණු තැනටත් වැඩ පරිභෝග කල බව සඳහන් වෙනවා.. එසේම කාශ්‍යප බුදුරදුන් වැඩසිටි සෝමනස්ස මාලක කියන ස්ථානයටත් වැඩම කල බව කියවෙනවා.. (මේ ගමනෙදිම මොක්කෙමටත් වැඩ සිරිපතුල් පිහිටුවන්නටත් ඇති)
මේ භූමි කොටස්වල ඒ කාලේ 'මනුස්ස' කියන ගෝත්‍රයට අයත් අය ඉඳල නෑ. එනිසා එහි හිටිය දේව හා නාග ගෝත්‍ර වල ජනයාට හොඳින් අනුශාසනා කරල මහා සංඝයා සමගින් දඹදිවට වැඩියා කියල කියනවා. ඔව් එය විය හැකියි. මොකද එවකට ලක්දිව හා දඹදිව මායිම් අනුරපුර කිට්ටුවෙන්ම තමයි වෙන් වෙලා පිහිටා තිබුනේ..


 තව එකක්, මෙතනදී මහාවංශ කතා කරුවා කියන්නේ අහසට නැඟී ගියා කියලයි. මෙන්න මෙතන එක්කෝ කතා කරුවා අපව මුළා කරන්න හදනවා. නොමැතිනම් මේ කියන දේ අප වැරදියට තේරුම් අරගෙන..
පාලියෙන් අන්තලික්ඛ හා අජ්ඣොකාස කියන්නේ අහස, අනාවරණස්ථානය, හිස්තැන, අභ්‍යවකාශය වගේ සිංහල අරුත් වලටයි.. ඉතින් අහසට නැඟී ගියා කියන කොට නිශ්චිත නොවන අයුරින් ගියා කියන අරුතකින් ගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඉර්ධි ප්‍රාතිහාර්‍යයෙන් ගියා කියලවත් තිබුන නම් ඒක වෙනම හිතන්නවත් තිබුනා.. අහස් යානයකින් ගියා කියාවත් නෑ. 

ඔය ඉන්දියා දෙව භූත කතා අදහන අයනම් අහසින් පියාසර කරගෙන යනව වගේ විකාර අදහසුත් ගන්නවා. ඒත් සැබෑ බුදු දහමේ නම් එහෙම විකාර දේවල් කියල නෑ. ඉර්ධි ප්‍රාතිහාර්‍යය පාන්නට හැකියාව ඇති උතුමන්ලාට නම් තම ඝන ශරීරය එක තැනක තිබියදී මනෝ කායයෙන් ඕනෑම තැනකට ගමන් කිරීමට හැකියි. බුදු වරයෙකුට නම් ඝන ශරීරයත් සමගම යන්නට හැකියාව තිබෙනවාද නතිද කියා අපට කියන්න අමාරුයි. ඒත් මෙතන මහා සංඝයාත් සමග ගිය බවක්නේ පැහැදිලිවම කියා තිබෙන්නේ. ත්‍රිපිටකයේ නම් උඩින් යන කතාවක් කියා ඇති බවක් කොතනකවත් පෙනෙන්නට නෑ..
එහෙනම් මෙය අභෞය දෙයක් නේද? කොහොම හරි මහාවංශ කතා කරුවා කියන්න හදන්නේ උඩින් ගියා කියල නම් ඒ අප ගොනාට අන්දන්න හැදීමක් තමයි..
 
එසේම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෙම දා ගැබෙහි වීමත් සුවිශේෂත්වයකි. මහා වංශයට අනුව ද්‍රෝණයක් ධාතූන් (නැලි 4ක් ද්‍රෝණ එකකි) මෙම ස්තූපයේ නිධන් කර ඇත.
ලෝක විනාශයකදී සම්බුද්ධ ධාතු සියල්ල රුවන්වැලි මහා සෑයට එක්වී පෙළහර පා පිරිනිවන් පානා බව අට්ඨ කතාවන්හිද සඳහන් වීම සුවිශේෂත්වයකි.. මෙතන අප නොසිතන මහා විශේෂත්වයක් තියෙනවා කියලා දැනට මතක තබා ගන්න.. එහෙමනම් රුවන්වැලි මහා සෑයේ තවත් සැඟවුනු වැදගත් විස්තර ටිකක් රැගෙන නැවතත් හමු වෙමු..
 

No comments:

Post a Comment

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07

සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත් , එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත් , ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත් , තවත් බොහෝ...