Thursday, March 8, 2018

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07



සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත්, එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත්, ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත්, තවත් බොහෝ වැදගත් දේ ගැනත් 6 වෙනි කොටසින් අප කතා කලා..
තමන්ට ඤාති සම්බන්ධයක් තිබුණු වසවර්ති කුමරා විසින් සිදුහත් කුමරුන්ව රාජාභිෂේක කරවන්නට ලොකු සටනක් දුන්නා.. ඒත් එය නොහැකිවූ පසු ඔහු කාල තීර්ථ පුරයට හෙවත් කුසිනාටා නුවරට යනවා.. බුදුරදුන්ගේ පිරිණිවන් පෑම සම්බන්ධව කිසියම් කතා බහක් තෙමසකට කලින් මේ වශවත් රජු හා බුදුරදුන් අතර ඇති වෙනවා.. එහිදී බුදුරදුන් ඉදිරි මාස තුනකින් තමන් වහන්සේ පිරිණිවන් පාන බවට දැනුම් දීමක් කරනවා.. එහිදී බුදුපියාණන් ආයු සංස්කාරය අත් හරිනවා.. ඒ චාපාල චෛත්‍යස්ථානයෙදීයි.. එහෙනම් ඒ චාපාල චෛත්‍යස්ථානය පිහිටියෙ කොතනද

     බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය හා ආදාහනය කළ ස්ථානය සම්බන්ධව කිසියම් ගැටලුවක් මතු වෙනවා.. ඒක අප හෙමින් සීරුවේ විසඳාගත යුතු කරුණකි. මෙහිදී අපට කුසිනාරාව හා විශාලාව එදා පිහිටි නියම තැන කුමක්ද කියා මුලින්ම හොයා ගන්නට වෙනවා..
මෙහිදී පූජාවලිය, රාජාවලිය, වන්නි රාජාවලිය වැනි පුස්තකයන් ඉතා වැදගත් වෙනවා.. එම පොත්වලට අනුව අද මතුකරගෙන තිබෙන ගම් නගර සියල්ලක්ම පාහේ පිහිටි දිශාවන් නිවැරදියි.. වෙනසකට ඇත්තේ විශාලා මහ නුවර හා කුසිනාරා නුවර දෙක පමණයි.. අනෙක්වා හරියන්නත් ඒ දෙක වෙනස් වෙන්නත් මෙතන කුමන හෝ පැටලීමක් තියෙන්න පුලුවන් නේද? ඔව් ඇත්තටම එතන නිවැරදි කරගත යුතු දෙයක් තියෙනවා.. 

     පුජාවලියට හා රාජාවලියට අනුව විශාලා මහනුවර බෝධිමූලයෙන් බටහිරටත්, කුසිනාරාව උතුරිනුත් පිහිටා තිබිය යුතුයි.. එමෙන්ම මේ නුවර වල් දෙක අතර දුර පරතරය ගොඩාක් ලොකු වෙන්නත් බෑ.. ඔහොම තියෙනකොට මහාවංශයෙන් විශාලාව ගැන සඳහනක් හමුවෙනවා.. ''එකල්හි මහමෙව්නා උයන මහා සාගර නම් විය. පශ්චිම දිශාවෙහි විශාල නම් පුරයක් විය"
    ඉතින් මේ අනුවත් අනුරපුරයට බටහිර දෙසින් විශාලා නුවර පැවති බව සිතා ගන්නට හැකියි. එය පූජාවලි කතාවටත් ගැලපෙනවා.. එහෙනම් බෝධියට උතුරින් කුසිනාරාවත් තිබෙන්න පුලුවන් නේද? අනෙක් වැදගත්ම කරුණ නම් මහා සෑය ගැන කියවෙන කතන්දරයයි..
බුදුරදුන්ගේ රන්දෙන දවාලිම කරන්නේ මේ අද රුවන්වැලි මහා සෑය තිබෙන තැනයි. එනිසයි එතනට මහා සෑය කියා නම හැදුනේත්.. අනෙක් සියල්ලම චෛත්‍ය/වෙහෙර වූ අතර මෙතනට කියන්නේ මහා සෑය කියායි.. සෑය කියන්නේ සොහොනටමයි.  ඉන් කලෙකට පසුව අපේ හෙළයේ සිටි අශෝක මහරජු විසින් එතන වෙහෙරක් සකස් කරනවා.. ඉන් පසුවයි එය ස්වර්ණමාලී මහා සෑය වන්නේ... බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වලින් වැඩි කොටසක් ඇත්තේද මෙතනම තමයි.. එසේම කිසියම් දවසකදී සියලු ධාතූන් වහන්සේලා අන්තර්ධාන වන්නේත් මේ රුවන්වැලි මහා සෑය ස්ථානයේදීම තමයි.. එසේම සිව් බුදුවරයින් වහන්සේලාම මේ ස්ථානයට වැඩි පූජනීය තැනක්ද වෙනවා.. 

     මෙතන ශ්‍රි දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවූ අඟුරු නාග ලොවට ගෙන ගොස් එහි වෙහෙරක් සාදනවා.. එම අංගර සෑය අද මීගමුව (අඟුරුකාරම්මුල්ල) පැත්තේ තිබෙන බව සඳහන් වෙනවා.. එහෙනම් පූජාවලියේ සදහන් කුසිනාරා නුවර ශ්‍රීමහා බෝධියට උතුරින් තිබුනා යැයි කීම නිවැරදි නේද කියන එක අපට පහසුවෙන් හිතන්න පුලුවන්..
හොඳයි එහෙමනම් කල්තොට බුදුගල ඇති සම්බන්ධය කුමක්ද? ඒ සම්බන්ධව අපට මෙහෙම හිතන්නටත් පුලුවන්. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත් හලේ එහිදී වෙන්න පුලුවන්. එහෙම නැත්නම් එතන පිරිණිවියා නම් ශ්‍රී දේහය අනුරපුරට වැඩමවා එහි ආදාහනය කලා විය යුතුයි.. (එහි සිට ශ්‍රී දේහය අනුරපුරට ගෙන ගිය ගැමි කතාත් අසන්නට ලැබෙනවා)

     කෙසේ හෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු එම ප්‍රවෘත්තිය මුළු දිවයින පුරාම එදා පැතිර ගියා. ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ධාතු කොටස් බෙදා ගැනීම සඳහා දේව වැසියන්ද, බ්‍රහ්මචාරීන්ද, ශාක්‍යයන්, ක්‍ෂත්‍රියන්, කෝලීයන්, මල්ලවයන්, ලිච්ඡවීන් ආදීන්ද අතර ගැටුමක් ඇති වූහ. ඇත්තටම මීට හේතු ගොඩක් තියෙන්න පුලුවන්.. එසේම මහා කාශ්‍යප මහ තෙරුන්ගේ අවසරය ලැබෙන තෙක් චිතකයට ගිනි නොතිබූ බවද සඳහන් වෙනවා..

    කොහොම හරි මුළු දිවයිනටම රජුන් වන සක්විති රජ කෙනෙකුගේ හෝ බුදුවරයෙකුගේ භෂ්මාවශේෂ තබා ගන්නා ප්‍රාදේශීය රාජ්‍යයන් ප්‍රබලත්වයට පත්වන බව හෙළයන්ගේ විශ්වාසයකි. හෙළයේ භේදවී වෙන්වී තිබූ සියලු කුල ගොත් එක්සේසත් කල අප සීහළ වංශික නායකවූ ගෝතම නර සීහයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා ගන්නා රාජ්‍යයන් ප්‍රබල රාජ්‍යයක් වන බව ඔවුන් සියල්ලන්ම පිළිගත් නිසාත්, ධාතූන් ලඟ තබා ගැනීමෙන් එතුලින් විශේෂ විශ්ව කිරණ ශක්තියක් ලැබෙන බව දන්නවා. මෙම ධාතු බෙදා ගැනීමේදීත් යම් ගැටුම්කාරී තත්වයක් රජවරු අතර උද්ගත වුනා..

    කෙසේ හෝ මෙම ගැටුම සමනය වූයේ ද්‍රෝණ බමුණාගේ මැදිහත් වීමෙනි. ද්‍රෝණ බමුණා එම සිරි භෂ්මාවශේෂ නැලි අටකට සමානව බෙදා දීමෙන් පසු ගැටුම විසඳුණි..
මෙසේ ශාරීරික ධාතු බෙදා දීමෙන් පසුව ඉතිරි වූ දන්ත සතරක්‌ බෙදා ගත් අයුරු මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්‌වේ. එක්‌ දළදාවක්‌ දේව හෙළයන් වෙතද, තවත් දළදාවක්‌ ගන්ධාර පුරයටද, තව දළදාවක්‌ නාග ගොත් රජවරු වෙතටද අනෙක කාලිංග රජුටද ලබාදී ඇත. අද අප නුවරදී වැඳුම් පිදුම් කරමින් වාර්ෂිකව දළදා පෙරහැර පවත්වමින් ගෞරවාහාර දක්‌වන්නේ එම කාලිංග රජු ලබාගත් දන්තධාතූන් වහන්සේටය..
හොඳයි එහෙමනම් බොදුනුවන්ට ස්වර්ණමාලී මහා සෑය පිහිටි ස්ථානය කෙතරම් වටිනවා ඇත්ද කියා අපට දැන් සිතන්නට පුලුවන්..
 
     අද අනුරාධපුරයට බුද්ධ කාලයේ උරුවේලාව කියා භාවිතා කොට තිබෙනවා.. ඒ බව මහාවංශයේමද සඳහන් වෙනවා.. උරුවේලාවේ රජවරුන් සිටි තවත් උරුවේල ජනපද කීපයක්ම තැන් තැන්වල තිබී තිබෙනවා.
උරුවේලාව කියන්නේ විශාල ජනපදයක්. හිරිවඩුන්නත් උරුවේලාවම අයිති කොටසක්. හෙළදිව වැසියන්ට ඉතාම වටිනා සිරි මහා බෝධි දෙකක් හමු වෙනවා.. ඒ හිරිවඩුන්න සිරි මහා බෝධිය හා අනුරපුර සිරි මහා බෝධියයි.. මේ සිරි මහා බෝධි දෙක අතර සියුම් ලෙස විසඳාගත යුතු කරුණු කීපයකුත් තියෙනවා..
    බෝසතුන් වහන්සේ ගිහිගෙයින් නික්ම ගියාට පසු හිරිවඩුන්න බොධිය ලඟ තමයි වැඩිකාලයක් ඉඳල තියෙන්නේ.. එතන ඉන්න කාලේදී තමයි අර වසවත් රජුත් මහා පිරිසක් සමග යුද්ධයකට පැමිණියේ.. වසවර්ති පැමිනියේ සිදුහත් කුමරුන්ව රජ මාළිගයට එක්කගෙන ගොස් සක්විති රජෙක් කරවන්නටයි.. දේව වැසියන්ට උවමනා වුනේ බෝසතුන්ව බුදුවරයෙක් කරවන්නයි.. මේක තමයි දෙපැත්තේ ඇතිවූ හබය.. හබයක් නිසා රණ භූමියක් හටගත් ප්‍රදේශයක් නිසා තමයි ඔය හබරණ කියන්නේත්.. ඒ මහා යුද්ධ වෙලාවේදී බෝසතුන්ගේ සහායට සිටි දේව රජවරු ඇතුලු සේනාව පැරදී පලා ගියා.. ඒත් දැඩිමුණ්ඩ කුමාරයා ඇතුලු සේනාව අන්තිම මොහොත දක්වාම බොසතුන්ව ආරක්ෂා කලා.. දැඩිමුණ්ඩ කුමරුගේ ප්‍රති ප්‍රහාර හමුවේ වසවර්ති සේනාව අන්තිමට පැරදී පලා යනවා.. (මේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශීර්වාදය අදටත් හෙළ බෞද්ධයා වෙත පවතිනවා )

   ඉතින් කොහොම හරි මේ යුද්ධය සැබෑවට මිනිසුන් අතර හටගත් යුද්ධයක්. බුදුවීමේදී ඇතිවූ චෛතසික ක්ලේශ මාර යුද්ධය වෙනයි. මේ දෙක අද සමහරුන් පටලවාගෙන තියෙනවා.. මේවා පටලවා ගත්තොත් සැබෑ බුදු දහම ග්‍රහණය කර ගන්නට නොහැකි වෙනවා..
හොඳයි, එතකොට හිරිවඩුන්න බෝධිය තමයි මධ්‍ය මණ්ඩළය වෙන්නේ.. එහි තිබෙන වජ්‍රාසනය මත තමයි බෝසතුන් යුධ වෙලාවේ නොසැලී වැඩ ඉන්නේ.. එහි වැඩහිඳ කරන අධිෂ්ඨාන ශක්තිය අති මහත් ප්‍රබලයි.. එතන කිසියම් සුවිශේෂී විශ්ව ධර්මතාවයක් ගැබ් වෙනවා..
   ක්ලේශ මාර යුද්ධය හා වශවත් කුමාර යුද්ධය එක දවසේ වුනු එකක් නොවේ. එතන කිසියම් කාල පරතරයක් තියෙනවා.. එහෙමනම් ක්ලේශ මාර යුද්ධය කොට බුද්ධත්වය ලැබුවේ කුමන බෝධි මූලයේද කියා තවමත් කිසියම් ගැටලුවක් අපට පැන නගිනවා..
එය සිදුවූයේ මේ හිරිවඩුන්න බෝධි මූළයේ වෙන්නත් පුලුවන්.. අනුරපුර බෝධි මූළයේ වෙන්නත් පුලුවන්.. අනාගතයේ යම් දිනෙක රාජ අනුග්‍රහය ඇතුව අනුරපුර සිරිමහා බෝධිය ලඟ කැණීමක් කර සොයා ගැනීමක් කරන තෙක් අප මුණිවත රකිමු.. (යම් විටෙක එහිදී වජ්‍රාසනයක් හා බෝධි මූලය යට විශාල කටාරමක් මතු වුනොත් අපට නිගමනයකට එන්නට පහසු වෙයි..)

    අප දන්නවා නේද 'බොන්සායී' ශාක ගස් ගැන.. කිසියම් භාජනයක් ඇතුලේ ගහක් පැළකොට වතුර දමමින් පෝෂණය කොට එය පවත්වා ගෙන යන්න පුලුවන්.. එහෙත් අවුරුදු දහස් ගනනක් ගියත් එය වැඩෙන්නේ කිසියම් ප්‍රමාණයකට පමනයි.. එසේම මේ අනුර පුර බෝධියද කවුරු හෝ විසින් යටට විශාල භාජනයක් තබ සිටෙව්වා නම් එසේ වන්නත් බැරි නෑ නේද?..
(මෙය බෝසතුන් වහන්සේ හෝ ආනන්ද හිමියන් විසින් රෝපණය කලාද, නැතිනම් ඊට පසුව වෙන රජ කෙනෙකුන් විසින් රෝපණය කලාද, එසේත් නැතිනම් ස්වාභාවික බෝධියක්ද කියා කියන්නට තවම නිසි කාලය පැමිණ නැත )
රෝපණය කල එකක් වේවා, ස්වාභාවික එකක් වේවා මේ ද්විත්ව බෝධියම පූජනීයත්වයට, වන්ඳනීයත්වයට ඉතාම සුදුසුයි..
 
    පූජාවලියේ සඳහන් ගම් නගර විස්තරය අනුරපුර සිරි මහා බෝධි මූළය සිට කියුවාද නැත්නම් හිරිවඩුන්න බෝධි මූළය සිට කීවාද  කියා කියන්නට අපහසුයි. හැබැයි අනුරපුර සිරි මහා බෝධි මූළය ලක්ෂ කොට කීවානම් ''බෝධිමණ්ඩලයට අග්නි දිග්භාගයෙහි සැවැත් නුවරය" කියන තැනටත් ගැලපීම එනවා.. එවිට පූජාවලි, රාජාවලි පොත්වල සඳහන් සැවැත් නුවර, කුසිනාරාව, විශාලාව ඇතුලු සියල්ලේම දිශා පෙන්වීම් නිවැරදි වෙනවා..
බුදුපියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශණය පැවැත්වූ තැන පිළිබඳ අපට කිසිම ගැටලුවක් නෑ. එය ඉසින්බැස්සගල තිබෙන ඉසිපතනාරාමයමයි.. බුදුවීම සිදුවන්නේ හිරිවඩුන්න හෝ අනුරපුරදී.. පරිණිර්වාණය සිදුවන්නේත් අනුරපුරට අයිති කුසිනාරාවේ හෝ බුදුගලදී වෙන්න පුලුවන්.. කොතැන වුනත් සිරි දේහයට ගිනිදැල්වීම සිදුවන්නේ රුවන්වැලි මහා සෑය අභියසදී විය යුතුයි.. එවිට ඉපදීම සිදුවන්නේ කොහේදීද?
ඉපදීම සිදුවන්නේ මායා දේවිය ඤාති ගමකට යන අතර තුරදීයි.. එය බඹරගලදී වෙන්නත් පුලුවන්. එසේ නැත්නම් අනෙක් ඤාතීන් සිටි නේපාල පැත්තේ තැනක් වෙන්නත් පුලුවන්.. උප්පත්තිය කොතන වුනත් අනෙක් සියලු දේ සිදුවන්නේත් බුදුන් වහන්සේ වැඩ සිටියේත් මේ උතුම් හෙළබිම තුලමයි. එය සියලු ආකාරයෙන්ම ප්‍රත්‍යක්ෂයි.. එනිසා තර්ක නැගීමේදී 'බුදුන් උපන්නේ ලංකාවේ' කියනවාට වඩා උචිත වන්නේ 'බුදුන් වැඩසිටියේ මේ හෙළ ජම්බුද්වීපයේ' කියන එකයි.. උන්වහන්සේ හෙළයෙක් මිස ඉන්දියානුවෙක් නොවේ..

   ඇත්තටම කියනවනම් අප කවුරුවත් කියන නිසාවත්, පොත පතේ තියෙන නිසාවත් කිසිවක් භක්තියෙන් අන්ධවී පිළි ගන්නවාට වඩා අප විසින්ම සත්‍ය විමසා බලා නුවණින් තේරුම් ගැනීමයි සැම විටම වඩාත් උචිත වනුයේ..
සමහර තැන්වලදී අප කාටත් යම් යම් දේ වරදින්නට පුලුවන්.. සමහර තැන් වලදී සමාධියට පෙනෙන දේ පවා මායාවට ලක්වෙන්න පුලුවන් බව අප දැනගත යුතුයි.. එයද වංචක ධර්ම වලට හසුවෙන්නට පුලුවන්..
කෙසේ වුවත් අප වැරද්දක් දුටුවොත් එය නිවැරදි කරගෙන ඉදිරියට යාම තමයි වඩාත් සුදුසු. නැත්නම් ඉදිරියේදී වෙනත් කොතෙකුත් ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවනවා.. මේ හෙළ ඉතිහාසය එළි පෙහෙලි කරගෙන යාම අප සියල්ලන්ගේම කර්තව්‍යක් වෙනවා. එහිදී සියලු දෙනාගේම සහාය වටිනවා..

   මම විසින් මේ කලේ කැලයේ තිබූ විශාල කටු අකුල් ජාලයක් හැකි අයුරින් කපා කොටා ඇද දැමීම පමණයි.. එනිසා මෙතන තවත් ශේෂවූ කටු ඉති ආදිය තියෙන්න පුලුවන්. ඒවා ඇන ගන්නේ නැතිව ප්‍රවේශමෙන් ඔබ ඉදිරියට යන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා.. මෙතනින් පැන ගත්තොත් ඉදිරිය එතරම් ගැටලු සහගත නෑ.. මටත් මේ දක්වා එන්නට හැකි වුනේ මීට කලින් විශාල කැපවීම් කොට ගල් මුල් පෙරලා මග පාදා දීමට විශාල මෙහෙවරක් කළ උතුමන් නිසයි.. ඒ සියල්ල්න්ටම අප කෘතවේදි විය යුතුයි..
හොඳයි එහෙනම් අප මේ ''ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..'' කියන මාතෘකාව යටතේ මෙතෙක් දවසක් වැදගත් වන කරුණු කාරනා රැසක්ම කතා කලා.. හැකිනම් ඒ ලිපි පෙල නැවත වරක් කියවා බලන්න.. එවිට නොතේරුනු තැන් ඇත්නම් ඒවා තවත් පැහැදිලි වනු ඇත..සත්‍ය අවබෝධ වේවා..
 ඔබට සම්මා සම්බුදු සරණයි..

Monday, March 5, 2018

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..06



හොඳයි එහෙනම් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යන ගමනේ ඔන්න අපි 6 වෙනි කොටසටත් ආවා.. හෙළදිව සිටි සුද්ධෝදන රජතුමාට එදා බංගාල දේශය පැත්තේත් රාජධානියක් තිබුණු බවත්, එතුමන් නාවුක (නාග) ජනයා සමග ලඟින් සම්බන්ධ කම් පැවැත්වූ බවත් අපි එදා කතා කලා..

මම මේ කතාව කීමෙන් අපේක්ෂා කරන්නේ විශේෂයෙන් අප බුදුපියාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිණිවීම හා ප්‍රථම ධර්ම දේශනය සිදුවූ ස්ථානයන් වඩාත් නිවැරදි ලෙසින් වටහා ගැනීමට මං එළි පෙහෙළි කිරීමට කරන රුකුලක් හැටියයි. මොකද අප දැනගෙන තිබෙන දේවල් තුලද යම් යම් අඩුපාඩු කම් තිබෙන්න පුලුවන්.. එහෙම වුනොත් සමහර එයින් සමහරවිට අපටමත්, අනුන්ටත් අවැඩක් වෙන්න පුලුවන්.. අපට වැරදුනු තැන් හදාගන්නට අප තවමත් ප්‍රමාධ නෑ.. එනිසා අපි සියල්ල හරියටම දැන ගැනීමයි ඉතා වැදගත් වන්නේ..
ඇත්තටම මේවා ගැන මූලික කරුණු ටික වටෙන් ගිහින් කතා කරලා තමයි ස්වර්ණමාලී මහා සෑය ගාවට ආයිත් අපිට යන්න වෙන්නේ.. නැත්නම් සමහර තැන් පැටලෙන්න පුලුවන්.. හොඳයි, එහෙනම් අපි අද එතන ඉඳන් කතා කරමු..

ඉතින් කොහොම හරි ඔක්කාක පරපුරෙන් පැමිණි මේ ශාක්‍ය වංශික වූ සුද්ධෝදන රජතුමා තම මානය පසෙක තබා (දේශපාළනික සැලසුමකට අනුව) කෝලීය වංශික රජ දියණියක්වූ මහාමායා කුමරිය හා විවාහ වෙනවා.. කෝලීය වංශිකයන් සුර කියන පාර්ශවයටයි වැටෙන්නේ.. එවිට ශාක්‍යයන් අසුර කියන පාර්ශවය නියෝජනය කලා..
මේ සුර, අසුර පිරිස් දෙක ආදී කාලේ ඉඳන්ම ගැටෙනවා.. කාලෙන් කාලෙට දෙපැත්ත බලවත් වෙනවා..
ධජග්ග සූත්‍රයේ කියවෙන්නෙත්, රාම රාවණ කතාවේ කියවෙන්නේත් ගොතම බුදුරදුන්ට කලින් පැවති ඔය සුර, අසුර දෙපැත්තේ යුද්ධයන් ගැනම තමයි.. ඒ රාමවරුත් එදා අපේ දේව හෙළයේම (දඹදිව් කොටසේ) සිටි සුරයින්.. එතකොට රාවණ (සක්විති 7 දෙනාගෙන් පසු සිටි ඉන්ද්‍රජිත්) ලංකා කොටසේ සිටි අසුරයින් ගනයටයි වැටෙන්නේ..
කැළණියේ සිටි විභීෂණ(රාවන සොයුරු) රජුගෙන් නාග කියන ජන ගෝත්‍රය හටගන්නවා..
 
ඉන්ද්‍රජිත්ගේ (මේඝනාද/රාවන) පුතුන් දෙදෙනාගෙන් කෝවේසස්ථාන(යෝනක) වංශයත්, රවිශෛල්‍යය (ඉරුගල) වංශයත් ඇතිවෙනවා.. මේ වංශ දෙකම පොදුවේ එදා යක්ඛ ජන ගෝත්‍ර ලෙස හැඳින්වූවා.. එසේම මේ යක්ඛ හා නාග කියන ජන ගොත් දෙකම අයත් වන්නේ අසුර ගනයටයි.
හොඳයි එහෙමනම් අපි දැන් බලමු සිදුහත් කුමාරයගේ ඤාතීන් කවුද කියල... (මේ ඉතා වැදගත් තැනක්)
සිදුහත් කුමාරයගෙ සීයා සීහහනු රජු බවත්, පියා සුද්ධෝදන රජු බවත් අප කවුරුත් දන්නවානේ. සුද්ධෝදන රජුගේ මාළිගය පිහිටියේ අද දිඹුලාගල තිබෙන කොටසේයි. ඔහු කපිලවස්තු ජනපදයේ ප්‍රාදේශීය රජෙකි. එය අයිති වුනේ හෙළයේ දඹදිව කියන කොටසටයි.. එදා දඹදිව කොටසේ සිටියේ දේව හා මනුස්ස කියන ජන වර්ග දෙකයි..

සිදුහත් කුමාරයට අම්මල දෙන්නෙක් හිටියා.. ඒ වැදූ මව හා හැදූ මව වශයෙනි. ඔවුන් දෙදෙනා තමයි මායා හා ගෝතමී කියන්නේ.. මේ දෙන්නා අක්කයි, නංගියි කිව්වට එක් කුස උපන් අක්ක නගෝ නොවෙයි.. (අපේ යටි හිතේ තැන්පත්වී ඇති කතා මේ වෙලාවේ ටිකකට අයින් කරගෙන යමු) නමුත් මේ දෙන්නටම ප්‍රජාපතී කියන නම භාවිතා කලා.. ප්‍රජාපතී කියන්නේ ප්‍රජාව පාලනය කිරීමට සුදුසුකම්ලාභී පතිනියන්/කාන්තාවන් ටයි.. ඔවුන් රාජ්‍ය පාලිතයින්..
එතකොට ප්‍රජාපතී මහාමායා කුමරිය එදා මුල් කාලයේ සිටියේ කෝලීය ජනපදයට අයිති කොළොම්පුරයේයි.

සමන(සමන්) යනු ඇගේ සොයුරෙකි. මණි අක්ඛික රජුටත් ඇගේ කිසියම් සම්බන්ධ කමක් තිබෙනවා.. ශුමන/පණිත/වෙසමුණි යනු පියා වූ අතර සෝමා යනු ඇයගේත් සමන් කුමරාගේත් මවය. වෙස්සවණ නමින් තවත් ඇගේ ඤාති සොයුරෙක් සිට ඇතැයි සිතිය හැක.

සුමන රජුගේ පුතුවූ සුමන සමන් කුමරා මුල් කාලයේ සිටියේ අන්තර්ගිර හෙවත් අතුරුගිරියේය. ඔහු විසින් පසුකාලයේ සසුනට පූජාකළ ලෙණක් අදටත් (අතුරුගිරියට කිට්ටුව) කොරතොට රජමහා විහාරයේ දක්නට ඇත. කොරතොට පන්සලේ ඇති අනිත් ලෙණ නම් සමන් කුමරුගේ සොහොයුරිය වන ප්‍රජාපතී දේවිය සසුනට පුදකළ ලෙණයි..(ශිළා ලේඛණ සහිතයි)

එහෙමනම් ප්‍රජාපතී ගෝතමිය කවුද? ඇත්තටම කියනවනම් ප්‍රජාපතී ගෝතමිය යනු සුද්ධෝදන රජුගේ ඇවැස්ස නෑනාය.. ගෝතමි දේවියගේ පියා අංජන රජු වූ අතර මව මහා යශෝධරා විය.. සුප්පබුද්ධ යනු ඇයගේ සොයුරාය. ඇයගේ ඤාතීන් සිටි රාජධාණිය වූයේ දෙව්දහ නුවරයි (අද මහනුවර). යශෝධරා (ගෝපා) කුමරිය සිටියේද එහියි.
ඉතින් සුද්ධෝදන රජු අක්කයි, නංගියි දෙන්නම විවාහ කරගත්තා කියන කතාවේ ඇත්ත තත්වය කුමක්ද කියා දැන් අපට තේරෙනවා නේද? මේ වගේ සිදුහත් චරිතයට ඈඳා ඇති විස්මිත ප්‍රබන්ධ කතා නම් කොතෙකුත් අද වනවිට තිබෙනවාද?. දින 7කින් මායා දේවිය මැරුණා කියා කීමත් ඒ වගේම කතාවක් තමයි. ඇත්තටම මෙතන වන්නේ කලුරිය කිරීමක් කියාය සඳහන් වන්නේ. කලුරිය යනු අද කියන විදියට මරණයට පත්වීමක් නොවේ.. (ඒ ගැන අපි මෙතන කතා නොකර ඉඳිමු.) සිදුහත් කුමරු යනු මව් මරා උපන් කුමරෙක් නොවන බව පමණක් සිහි තබා ගන්න..

කොහොම හරි පිංවත් සිදුහත් කුමරා වැදූ මවට දින කීපයකින් සුදෝවුන් රජු හැරදමා කිඹුල්වත් පුර රජ මාළිගයෙන් යන්නට සිදු වෙනවා.. ඇය තව්තිසා පුරයට යනවා. රජතුමාට ඕනෑ වුනේ කෝළීය වංශික බිරිඳකට දාව දරුවෙක් හදාගෙන බෙදීගිය සියලු ජන වර්ගයන් එකතු කොට ඒ දරුවාට හෙළයේ සක්විති කම (දිවයිනේම මහ රජකම) අරන් දෙන්නටයි.. එහෙත් රජතුමාට තරු පෙනුනේ අසිත තවුසාගේ තාරකා සාශ්ත්‍රයෙන් කී අනාවැකිය ඇසූ පසුවයි.
අසිත තවුසාගේ අනාවැකිය වූයේ මේ කුමරා ගිහිගෙය කළකිරී ශ්‍රමණ දිවියකට ගොස් සක්විතිකම පැත්තක දමා බුද්ධත්වයට පත්වන බවයි.. ඉන්පසු මේ රජතුමා ඇතුලු ශාක්‍යයන් කුමරුන්ට, බාහිර සමාජයේ සිටින ලෙඩුන්, මහල්ලන්, පැවිද්දන් ආදීන්ගේ සම්මුඛවීම් මග හැරෙන අයුරින් කටයුතු කිරිමට වග බලා ගත්තා..

පිංවත් සිදුහත් කුමරාට එදා මේ හෙළ දිවයිනේ සිටි යක්ක, නාග, දේව, මනුස්ස ආදී සියලු ජනතාවම ගරු කලා.. ඊට ප්‍රධාන හේතුවක් නම් ශාක්‍ය, කෝලීය දෙපැත්තටම අයිති කුමරෙකු වීමයි.. ඔහු මේ මුලු මහත් රටෙහිම ශ්‍රේෂ්ඨ නායකත්වය අනාගතයේ දරනු ඇතැයි කවුරුත් වාගේ විශ්වාස කලා..
කෝලීය වංශික මහාමායා ප්‍රජාපතී දේවිය, සුද්ධෝදන ශාක්‍ය රජුට විවාහ කරදෙන විටදී, තමන්ට අයිති මහියංගන රාජධානියද දායාද වශයෙන් දීමට මහාමායා දියණියගේ මවවූ සෝමාදේවී තීරණය කළාය.. තරුණ කාලයේ සමන් කුමරු විසින් යුවරජ තනතුර දැරුවේ මවගේ ගමවූ මහියංගණ රාජධාණියේය. ඉතින් මහියංගන රාජධානිය දුන්නාට, සමන් යුවරජු අක්කා සමග හිත් අමනාප වුවත් තමන්ට එහි රජකම ලැබෙනු ඇතැයි සිතා නිහඬ විය.
කොහොම හරි සුද්ධෝදන රජු තමන්ගේ ඤාතියෙක් වන වසවර්ති නම්වූ ශාක්‍ය කුමරෙකුට, තමන්ට දායාද ලෙස ලැබුණු මහියංගන රාජධානියේ බළය පසුව පැවරීය. (වසවර්ති යනු හැම යුද්ධයකදීම සුද්ධෝදන රජුට සොයුරෙක් ලෙසින් ලඟින්ම සිටි අයෙකි.) එයින් තම මළණු වූ සමන්ට ලොකු අසාධාරණයක් වූ නිසා මහාමායා ප්‍රජාපතී දේවි සුදොවුන් රජුත් සමග විරසක විය.. (දේශපාළනික ගැටලු ලොව සැමදා පවතින්නක්)

කෙසේ හෝ තම මල්ලීට සුදොවුන් රජු සිදු කල හානියෙන් කළකිරුනු මහාමායා ප්‍රජාපතී දෙවියන් අරගල කිරීම පසෙකලා, සියල්ලන්ගෙන්ම වෙන්ව සලුකන්දට ගොස් එහි විසුවාය. මහාමායා ප්‍රජාපතී දෙවියන්ව මහියංගන වැසියන් එවකට හැඳින්වූයේ මාලොකු දේවියන් නමින්ය.
ඇය විසූ ප්‍රදේශයට තව්තිසා පුර කියා එදා ව්‍යවහාර විය (අද කූරගල). එය එදා බොහෝ යස ඉසුරින් පිරුණු ලස්සන මනරම් සුර පුරයකි. බුද්ධත්වයෙන් කලකට පසු බුදු රදුනුත් මේ තාවතිංශ කියන පුරයට වැඩියා.
(
සමහරු මේව කොයි විදිහකට තේරුම් ගනියිද මන්ද? ඒත් මුළාවන්ගෙන් මිදීමට නම් මේ යථාර්ථයට කවදා හෝ මුහුණ දෙන්නටම වෙනවා. කවුරුවත් කළබල වෙන්න එපා.. ගැටලුවක් ඇත්නම් එය ඇත්තේ ඔබගේ සිත තුලමද කියල නැවත නැවතත් බලන්න.)
කෙසේ හෝ ඉතින් වසවර්ති රජු එදා මහියංගන රාජධාණිය අරගෙන රාජ්‍ය කරගෙන ගියා.. (මෙතන් රැවටිමකින් හෝ බලයෙන් ගත්තද කියන්න දන්නෙත් නෑ.. 

කොහොමහරි ගොතම බුදුරදුන් බුදුවී නව වෙනි මාසෙදි තමයි මෙතනට වැඩල යක්ඛයින් දමනය කොට ඔවුන්ව වෙනත් පලාතකට යවන්නේ. මෙතන ලොකු දේශපාළනික ආරවුලක් පැවති තැනක්.) රාජධාණිය අහිමිවූ සුමන සමන් රජ කුමරු, සියලු රාජ්‍ය තනතුරු අතහැර දමා තම බිසවද සමගින් සපරගමුවේ පදිංචියට ගියේය..

කෙසේ හෝ මේ වසවර්ති රජුගෙන් සිදුහත් බෝසතුන්ට මෙන්ම සමන් මාමාටත් තම අභිලාශයන් ඉටුකර ගැනීමට බොහෝ බාධා කරදර පැමිණියා. ඇත්ත වශයෙන්ම කියනවානම් සුද්ධෝදන රජුට මෙන්ම මේ වසවර්ති කුමරුටත් අවශ්‍ය වූයේ මේ හෙළයට සක්විති රජෙක් බිහි කිරීමටයි.. ඉතින් ඊට සුදුසුකම් ලාභී එකම කෙනා වන සිදුහත් කුමරුන්වත් පැවිදි වූ පසු ඔවුන්ට කර කියා ගත හැකි දෙයක් නැති විය..
විටෙක අඬ අඬාත්, තවත් විටෙක රුදුරු විලෙසිනුත් සිදුහත් කුමරුන්ව නවත්තන්නට වසවර්ති රජ කුමරු කටයුතු කළා.. අන්තිමට එදා හබරණ හිරිවඩුන්න ජය ශ්‍රි මහා බෝධි මූළය ගාවදිත් මොහු මහා සෙනගක් සමග අවුත් බෝසතුන්ට විරුද්ධව සටන් දියත් කලා.. එම වෙලාවේදී දැඩිමුණ්ඩ කුමාරයා පමණයි අන්තිම මොහොත දක්වා බෝසතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ.. අනෙකුත් බලවත් දේව රජවරු පවා බියවී පලා යද්දී ඔහු තම සිත දැඩි කොට ගෙන කඩුවත් රැගෙන බෝසතුන් වහන්සේ ලඟම සිටි බව සඳහන් වෙනවා.. මේ දැඩිමුණ්ඩ කුමරුගේ දෙමව්පියන් යක්ඛ හා නාග ගෝත්‍ර දෙකට අයත් දෙදෙනෙකි.. අදටත් එතුමන් දැඩිමුණ්ඩ දෙවියන් ලෙස සිටිමින් හෙළ බෞද්ධයාට ආරක්ෂාව සපයන බවට බොහෝ දෙනා විශ්වාස කරති.

කෙසේ හෝ මේ සියලු බලවේග පරාජය කොට අවසන සිදුහත් බෝසතුන් වහන්සේ ජයගෙන උතුම් සම්බුද්ධත්වයට පත් වෙනවා.. එහිදී එම ජයශ්‍රී මහා බෝධි මධ්‍ය මණ්ඩලයේ ශක්තියත්, එහි පිහිටි වජ්‍රාසනයේ බලයත් බෙහෙවින් උපකාරී වුනා.. එම විශ්ව ශක්තිය මේ බුදු සසුන පවතින තෙක් නොනැසී එහි පවතිනවා.. එම වජ්‍රාසනය හෝ බෝධීන් වහන්සේට කිසිවෙකුටවත් හානියක් කරන්නට නොහැකි අයුරින් ධර්මතාවයෙන්ම ආරක්ෂා වෙනවා.. එනිසාමයි බුදු දහම යටපත්වූ යුගයේ මෙම බෝධීන් වහන්සේ කාටවත් සොයා ගැනීමට නොහැකි වූයේත්.. යටපත්ව තිබූ පිරිසිදු බුදු දහම මතු වනවාත් සමගම මේ ස්ථානයන්ද මතුවුනා..
කොහොමහරි වේවා වසවර්ති රජු කියන්නේ මේ හෙළයේ ආරක්ෂකයෙකු හැටියටයි බොහෝ අය සලකන්නේ.. එතුමන්ගේ මරණින් පසු ගම්භාර දෙවියන් ලෙස හෙළයේ බුහුමන් ලබන්නේද ඒ වශවත් රජුන්මය..
 
එදා ශාක්‍ය, කෝලීයන් අතර දිගටම ගැටුම් පැවතියා.. වසවර්ති රජු විසින් ඉරුගලද (හිමගිර/සමන්ගිර) ආක්‍රමණය කළා. පසු කාළයේදී මෙම ශාක්‍ය, කෝලීය අර්බුධය නැවැත්වීමට බුදුරදුන්ද උපරිම උත්සාහයක් ගත් සේක. උන් වහන්සේ, වසවර්ති රජු විසින් ආක්‍රමණය කොට තිබූ, සමනොල ගිරට වැඩම කොට තම සිරිපා සළකුණ තබා.. (පෙර කළ මායිම් ලකුණු කිරීමට යොදා ගත්තේ පාද සළකුණුය) මෙය දැන් බුද්ධ දේශයක් පමණක් බව සිව්හෙළ සැමට දැන්වූහ..
එය ආරක්ෂා කිරීමේ අයිතිය කරුණාවේ ප්‍රතිමූර්තිය වූ තම සමන් මාමාටම පැවරූහ.. එතැන් පටන් දේව, මනුස්ස, යක්ක, නාග ආදී සියලු සිව්හෙළ වැසියෝ ඒ මහ අණට ගරු කරමින් සමගියෙන් විසූහ.. ඒ බුදු රජුන් තමයි බෙදී විසිරී තිබුණු මුලු හෙළයම එක්සේසත් කලේ..
(
සැබෑ සත්‍ය දැක සම්‍යග් දෘෂ්ටියට එන්න නම් අන්ධ භක්තිය, මිත්‍යා මතාදිය පසෙකින් තියන්නම වෙනවා..)

සුමන සමන් රජු සෝතාපන්න වූ උතුමෙකි. ධර්මාවබෝධයට පහසුවන්නාවූ, මොළයට පෝෂණය සපයන්නාවූ, කහවණු සහ මසුරන් යන වී දෙවර්ගය සපරගමුවේ ව්‍යාප්ත කළේද මේ සමන් රජුමය. සුමන සමන් රජ මියගිය පසු දේවත්වයෙන් අදහන්නට හෙළවැසියන් පුරුදු වූහ.. කරුණාවේ ප්‍රතිමූර්තිය බඳුවූ සමන් දෙවිඳුගේ ගුණ සුවඳ අදටත් සමනොල කරුණා කරද්දී හෙළයන්ට දැනෙනවා බඳුය. නිරතුරුවම එතුමන්ගේ ආශීර්වාදය හෙළවැසි සැමට තවමත් ලැබෙනු ඇතැයි සිතිය හැක..

හොඳයි, ඉතින් කොහොම හරි අන්තිමට වශවත් රජු බුදුරජුන් ඉදිරියේ තම පරාජය පිළිගන්නවා.. එතුමන් බුද්ධ අණට ගරු කොට මහියංගන හා සමන්ගිරි පෙදෙස් සුදුස්සන්ට පවරා දී කාල තීර්ථ පුරයට හෙවත් කුසිනාටා නුවරට යනවා.. ඉපැරණි පරනිම්මිත රාජධානිය පැවතියේත් එහිමයි. අද ඒ පැත්ත වන්නේ කල්තොටයි.. එදා වසවත් දේශය වුනේ එහියි. වශවත් මාර දෙව් පුත්‍රය සිටියේ පරිනිම්මිත වශවත්තියේයි.. මෙය කුසිනාටා නුවර මිස කුසිනාරා නුවර නොවන බවත් තේරුම් ගන්න.. (කවුරුවත් කළබල වෙන්න එපා.. ගැටලුවක් ඇත්නම් එය ඇත්තේ ඔබගේ සිත තුලමද කියල නැවත නැවතත් බලන්න.)
 
කොහොම හරි බුදුරදුන් මේ වසවත් රජුගේ ඉල්ලීම මත පිරිනිවන් පාන්නට තෝරා ගන්නේද මේ වශවත් දේශයයි.. නමුත් බුදුන්වහන්සේ එහි පිරිණිවීමට තෝරා ගෙන එහි බුදුගලදී පිරිණිවියත් උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කටයුතු කරන්නේ කුසිනාරාවේ මහා සෑය පිහිටි ස්ථානයේදීයි.. (කවුරුවත් කළබල වෙන්න එපා..) එහෙනම් එය සිදුවූ හැටිත් නියම කුසිනාරාව කොතැනද කියාත් ඊලඟ ලිපියෙන් කතා කරමු..
සියලු දෙනාටම තෙරුවන් සරණයි..
(
තවත් කෙනෙකු හෝ මිත්‍යාවෙන් මිදේවා කියන සිතින් හැකිනම් ෂෙයා/Share කොට පිං අනුමෝදන් වෙන්න..)

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07

සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත් , එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත් , ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත් , තවත් බොහෝ...